හිටපු යුද හමුදාපති සහ හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ( RWP, RSP, VSV, USP) මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩ පිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.
එසේ සමගි ජන බලවේගය සමග එක්වූ හිටපු යුද හමුදාපති සහ හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කරනු ලැබීය.
ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සිය මූලික අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලබා ගැනීමෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා අණ සහ මාණ්ඩලික විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යා උපාධියත් ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයෙන් තවත් උපාධියකුත් ලබා ගෙන ඇත.
1981 ඔක්තෝබර් 16 වැනි දින මහේෂ් සේනානායක මහතා 16 වැනි ශිෂ්‍යභට නිලධාරින් බඳවා ගැනීම දිගු පාඨමාලාව හරහා ශ්‍රී ලංකා හමුදාවට බැඳුණේය. පුහුණුව අවසන් කිරීමෙන් පසුව, හෙතෙම ඉංජිනේරු බලකායේ දෙවැනි ලුතිනන්වරයකු ලෙස පත් කරන ලද අතර, 1983 ජුනි 23 වන දින 1 වැනි ඉංජිනේරු රෙජිමේන්තුවට බැඳුණි. 1989 දී ඔහු විශේෂ ඒකක රෙජිමේන්තුවට මාරුවක් ලබා ගත් අතර එහිදී ඔහු 1 වැනි රෙජිමේන්තු විශේෂ බලකායේ බල අණ දෙන නිලධාරියා ලෙස සේවය කළ අතර පසුව 3 වැනි රෙජිමේන්තු විශේෂ බලකායට අණ දෙන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සහ හමුදා ඉංජිනේරුවරයකු වූ ඒ මහතා ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තුවේ කර්නල්වරයෙක් ලෙස ද කටයුතු කර තිබේ. දශක තුනක සිවිල් යුද්ධයේ ප්‍රධාන අදියර හතරේම ප්‍රවීණයෙකු වන ඔහු එහි උතුරු සහ නැගෙනහිර පළාත් දෙකෙහිම සේවය කර ඇති අත්දැකීම් බහුල හමුදා නිලධාරියෙකි.
ජෙනරාල් මහේෂ් සේනානායක මහතා 2017 මාර්තු 22 වැනි දින යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරන ලද අතර, පසුව 2017 ජූලි 4 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් ලුතිනන් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපති ලෙස උසස් කරන ලදී. 2019 අගෝස්තු 21 වැනි දින ඔහු ජෙනරාල් නිලයට උසස් වීමෙන් පසු හමුදාවෙන් විශ්‍රාම ගියේය.
Lanka Newsweek © 2026